ඉහත ජායාරූපය මගේ කැමරා කාචයේ සටහන් වුනේ පන්සලක තාප්පයක හරි එහෙම නැත්තම් ගේට්ටුවක වත් නෙවෙයි.ලංකාවේ ටිකක් ඈත පළාතක ගම්මානයක නිවසක වැසිකිළි බිත්තියක.ගම්මානය ටිකක් පිටිසර වුනාට ඉඩකඩ ප්‍රශ්නය බොහොම බරපතලයි.ඒ මිනිස්සුන්ට ලැට් වලක් හාරගන්න,සතෙක් මැරුණාම වලදාන්න,කුණු වලක් හාරගන්න ඉඩ නෑ.හාරගත්ත එකත් සෙරෙප්පු වලින් එන වැලි වලින් පිරුනම මොකද?කරන්නේ.බෝඩ් එක ගෙදර මිනිහාට වගේම පිටින් එන එකෙකුටත් පොදුයි.ඉතින් ඒ මිනිස්සු ආර්ථික විද්‍යාවේ එන නිශ්පාදන සම්පත් හතරෙන් එකක් වන භූමිය කියන සාධකය රැක ගන්න කරන ජීවන සටනේ එක පැත්තක් තමයි ඒ.
පොදු වැසිකිළිවල,පාසල් වල විශේශයෙන් අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ ටොයිලට් වල තියෙන කුනුහරුපත් එක්ක බලනකොට මේක කෙතරම් පරිසර හිතකාමිද?කියලා මට හිතුන නිසා වගේම වර්තමානයේ මෙරට මුහුණදෙන බරපතලම පාරිසරික තර්ජනය වන මධ්‍යම කදු පන්තියේ නායයෑම ගැන ද යමක් නොලියා බැරිය.උමා ඔය වේවා! ඉහළ කොත්මලේ වේවා! වරාය නගරය වේවා! නවතා දැමිය යුතුය. පරිසර විනාශී ව්‍යාපෘති දැන් රටට ඇතිය.
රටේ දළ ජාතික නිශ්පාදනයට විදේශ සංක්‍රාම එකතු කරන්න කකුල් දෙකේ යටිපතුල් දෙක ගෙවෙනකම් තේ ගහක් නෑර නෑර ඇවිදලා රුපියල් 160ට කඹුරපු, ගහක අතුකෑල්ලක් කපපු නැති මීරියබැද්දේ ලයින් කාමරේ අම්මා යට වුනේ ඒ ශාපෙට,හයක් හතරක් නොදන්න අඩුම තරමේ සෙල්ලම් බතක් උයන්න වැලි පොල් කට්ටක් හෑරුවේ නැති බදුල්ලේ කිරිකැටියා යට වුනෙත් අපි කඳු හාරපු නිසාමය.
ඒ ලියන්නෝය.
මා මෙම ලිපිය ලිවීමට පෙළඹවූ අනෙක් කාරණය වූයේ මඩකලපුවේ ඉඳන් සීගිරී ගීසිරි බලන්න ආපු සින්නතම්බි උදේනි (27) කොණ්ඩ කටුවෙන් කැටපත් පවුරේ කළ කුරුටු ගෑමය.සාහිත්‍යයේ නම් උගන්වන්නේ හොඳ නිර්මාණයක් නිර්මාණකරුවෙක් බිහිවන්නේ කුරුටු ගෑම ජීවිතය කරගත් එවුන්ගෙන් කියාය.එහෙත් සින්නතම්බි උදේනි කුරුටු ගෑවේ අවුරුදු 2500ක ඉතිහාසයකට උරුමකම් කියන ලෝක උරුමයකය.ඒ තුලින් කුරුටු ගී 4ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇත.අපට කොතනක හෝ වැරදී ඇත.කැටපත් පවුරට වීදුරු පවුරක් දැමීමට අලුත් සංස්කෘකිත ඇමතිතුමාට මොළේ පෑදී තිබීම ගැන සතුටුවන්නෙමු.
"මා මෙහි වටිනාකම දන්නේ නෑ, නීතිය ගැන දන්නෙත් නෑ.කැටපත් පවුර දැකලා මම පුදුම වුණා වගේම හරි සතුටට පත්වුණා.ඒකයි ඒකේ නම ලිව්වේ".
ඇය පොලීසියට දීපු කට උත්තරේ එසේ නම් මම මුලින් ම කිවූ පරිදි අපට කොතනක හෝ වැරදී ඇති බව ස්ථීරය.
ගෙවුනු සතිය තුල මා නෙත ගැටුනු කුරුටු ගෑම් දෙකක් පිළිබද තැබූ කෙටි සටහනකි මේ.ලියන්නා කෙසේ ලීවත් කියවන්නා කියවා තේරුම් ගතයුතු යමක් මෙහි ඇත.එය ඔබට භාරය.



.jpg)
No comments:
Post a Comment